ව්‍යාජ අංක තහඩු යෙදූ වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට
March 5, 2025 07:02 am
තීරුබදු රහිතව ගෙන්වා ව්‍යාජ අංක තහඩු සවි කර භාවිතා කරන ලද වාහන සන්තකයේ තබා ගත් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (04) එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ පැල්මඩුල්ල පොලීසියේ නිලධාරීන් විසින්ය.
තීරුබදු රහිතව මෙරටට ගෙන්වා ව්‍යාජ අංක තහඩු සවි කරන ලද ජීප් රථයක් හා මෝටර් රථයක් පැල්මඩුල්ල පොලිස් වසමේ ගරාජයක සඟවා තිබියදී සොයගනු ලැබුවේ 2024 ඔක්තෝබර් 13 වනදාය.
ඒ පැල්මඩුල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුවය.
ඒ අනුව, පැල්මඩුල්ල පොලීසිය අදාළ වාහන දෙක පොලිස් භාරයට ගෙන විමර්ශන ආරම්භ කර තිබිණි.
එහිදී සිදුකළ වැඩිදුර විමර්ශනය ඊයේ අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉහත වාහන සන්තකයේ තබා ගැනීම, තීරුබදු රහිතව මෙරටට ගෙන්විම හා ව්‍යාජ අංක තහඩු සවි කර භාවිත කිරීම යන වැරදි සම්බන්ධයෙනි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 49, 59 හා 61 යන වයස්වල පසුවන ඇඹිලිපිටිය හා මාමඩල ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.
සැකකරුවන් ඊයේ පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
පැල්මඩුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.